Wednesday, January 13, 2016


සොකරි නාට්‍ය

               සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර ‍කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින් පළාතට ‍මඳ වශයෙන් වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.
             මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමා‍දානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ.
සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ.


   K.A.H කාංචනා
       A/11/324

No comments:

Post a Comment