Saturday, December 26, 2015

sithuwam

දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණ


රටපුරා විහාරස්ථාන රාශියක මහනුවර සම්ප‍්‍රදාය දක්වන සිතුවම් ඇත. 19 වැනි සියවසේ මැද හා අවසන් කාලයේ දී දකුණු සහ බටහිර ලංකා සිතුවම් සම්ප‍්‍රදාය විකාශනය වෙමින් පැවතින. දිවයිනෙහි දකුණු සහ වෙරළාසන්න පහතරට ප‍්‍රදේශයන්හි එකල බිහි වූ චිත‍්‍රවල මහනුවර සිතුවම් සම්ප‍්‍රදායේ මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වී තිබුණ ද සිතුවම්හි විස්තර ලක්‍ෂණයන් සැලකීමේ දී පැහැදිලි වෙනසක් පෙනෙයි. දීප්තිමත් වර්ණ භාවිතය මේවාහි විශේෂ ලක්‍ෂණයකි. මේ කාලයේ දී බහුල වශයෙන් නිමකර ඇති මකර තොරණ සහ දේව රූපවල මෙම ලක්‍ෂණය විශේෂයෙන් පෙනේ. ඒ හැර සිතුවම් වඩාත් විස්තරාත්මකව දැක්වීමට ද දකුණේ චිත‍්‍ර ශිල්පීන් පෙළඹී ඇත.

මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. විස්තර තොරතුරු කෙරෙහි දක්වනු ලැබූ දැඩි අවධානය ඉන් එකකි. මහනුවර යුගයේ උඩරට සබරගමු සහ වයඹ ලංකාවේ දියුණු වූ බිතුසිතුවම්වල මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වුව ද දකුණු නොහොත් පහතරට ලංකාවේ විකාශනය වූ සිතුවම් වෙන්කරගත හැක්කේ ඒවාහි පෙනෙන විස්තර ලක්‍ෂණ නිසාය.

ඒ හැර සිතුවම්හි හිස්තැන් නෙළුම් මල්, ඉර හඳ, ගංගා, වලාකුළු සහ වෙනත් පාරිසරික ලක්‍ෂණයන්ගෙන් පිරවීම ද දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණයක් විය. බටහිර නැතහොත් අපරදිග සිතුවම් සම්ප‍්‍රදායන්හි බලපෑම් දකුණු ලංකා බොදු සිතුවම්වල පැහැදිලිව දැකිය හැක. පෘතුගීසි,  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලක්‍ෂණ සිංහල ජන ජීවිතවලට ඇතුළත් වූ ආකාරය දකුණේ සිතුවම්වල දැකිය හැක. විශේෂයෙන්ම චිත‍්‍රවල දැකිය හැකි මුහුණුවල ස්වරූප ඇඳුම්, පැළඳුම්, ආභරණ, ගොඩනැගිලි, ගේදොර, බඩුමුට්ටු යුරෝපීය ලක්‍ෂණ දරයි. 



Rev- pannala sumedhabhadra
 A / 11 / 687

No comments:

Post a Comment